අපවත් වී වදාළ වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ



පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සත්වන පරිවෙණාධිපති ධුරය හොබවා වදාළ රත්මලානේ පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් පළ වන ලිපියකි.


ධම්මාරාමො ධම්මරතො - ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු - සද්ධම්මා න පරිහායති

(ධර්මයෙහි ඇළුණු, ධර්මයට ලැදි, ධර්මය ම සිතන, ධර්මය ම සිහිකරන භික්‍ෂුව සද්ධර්මයෙන් නොපිරිහේ) 

ධම්මපදය - භික්ඛු වර්ගය

බුදුවදනේ එන පූර්වෝක්ත උතුම් ගුණයෙන් සමුපලක්‍ෂිත යතිරුවනක් කෙරෙහි අප අවධානය යොමුකළ හොත් එහි පළමුව ම සිතට නැගෙන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය, අග්ගමහා සද්ධම්මජෝතික ධජ, සාහිත්‍ය චක්‍රවර්ති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදිහත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ වැලමිටියාව ගම්පියසෙහි 1937 නවම් මස 20 වැනිදා පුරාකෘත පුණ්‍ය ශක්තිය ම ආත්මීය ධනය කොටගත් උතුම් පුත් කුමරෙක් උපත ලැබීය. එම උපත මුළුමහත් දැයට ම පින්ඵල විඳීමේ භාග්‍යය හිමිකර දෙන වාසනාවක් යැයි මවුපියන්වත් සිතන්නට නැත. විදුලකර සෝභාමත් කළ මහ පඬිරුවනක් වන තත් පිරිවෙනෙහි පස්වැනි පරිවෙණාධිපති ධූරීණ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියෝ මෙම කුලකුමරුවන්ගේ පින් මහිමය ඉවෙන් මෙන් දැනී ගිය බැවින් පැවිදි කිරීම පිණිස විද්‍යාලංකාරයට කැඳවාගෙන එති. වසර හතරක පමණ කාලයක් පැවිදි වීම පිණිස පිළිවෙත් සපිරූ අප කථානායකයාණන් වහන්සේ උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වන්නේ 1954 දුරුතු මස 07 වැනිදා එවකට විද්‍යාලංකාර පරිවෙණාධිපති ධුරය දැරූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.

විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් වෙත විශ්වවිද්‍යාල තත්ත්වය ලබා දෙනුයේ එම ආයතන පෙරපර දෙදිග කීර්තිමත් ආයතන බවට පත්ව පැවැති පසුබිමක ය. හැටේ දශකයෙහි මුල් භාගයේ විශ්වවිද්‍යාල බවට මෙම ආයතන පත්කිරීමෙන් දේශයේ ගිහි අධ්‍යාපනය විෂයෙහි උසස් මෙහෙයක් ඉටුවූ බව සැබෑ නමුත් එතෙක් පැවැති අද්විතීය අධ්‍යාපනායතන දෙකෙහි ආලෝකය දුර්වල වූ බව නම් අවිවාදිත කරුණකි. 

විද්‍යාලංකාර පිරිවෙන යථොක්ත මූලික ස්වරූපයේ උසස් ම ආයතනයක් ව පැවැති කාලවකවානුවේ එහි විද්‍යාලංකාර සම්ප්‍රදාය ඇතුළුව ශාස්ත්‍රීය ශික්‍ෂණය ලැබීමට අප වැලමිටියාවේ කුසලධම්ම හෙරණපාණෝ වාසනාව ලදහ. එමෙන් ම යක්කඩුවේ ප්‍රඥාරාම නායක මාහිමිපාණන් වහන්සේ බඳු ශාස්ත්‍රීය වනස්පතියක සෙවනෙහි භික්‍ෂූත්වය හා ශාස්ත්‍රියත්වය ගොඩනගා ගැනීමට අවකාශ ලැබීම ම උන්වහන්සේ ලද භාග්‍යයකි.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෙවත් වත්මන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් කුසලධම්ම නාහිමියන්ට සිංහල භාෂාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගැනීමට අවස්ථාව උදා වූ අතර පශ්චාත් උපාධි අධ්‍යාපනයටත් වඩා ඇසූ පිරූ තැන් ඇති යතිවරයෙක් ලෙසින් ශාස්ත්‍ර ලෝකයෙහි සැරිසැරීම උන්වහන්සේට අභිමත විය. විද්‍යාලංකාර පිරිවෙනේ ම ශාඛාවක් වූ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උපපරිවෙණාධිපති, පරිවෙණාධිපති හා පරිවේණාධ්‍යක්‍ෂ ආදී තනතුරු හොබවමින් උන්වහන්සේ සිදුකළ ශාස්ත්‍රීය මෙහෙවර අනබිභවනීය වෙයි. 1983 වසරෙහි විද්‍යාලංකාර පිරිවෙණෙහි අධ්‍යක්‍ෂ ධුරයට හා 1989 වසරෙහි පරිවෙණාධිපති ධුරයට පත් අප නාහිමියෝ විද්‍යාලංකාර ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළහ. ආයතනික කටයුතුත් සාමාජීය කටයුතුත් සියල්ල සමබර ලෙසින් පවත්වාගෙන යාමට උන්වහන්සේට පැවැතියේ අසාමාන්‍ය හැකියාවකි.

තමන්ට ලැබෙන කිනම් ආකාරයක හෝ ආරාධනයක් ප්‍රතික්‍ෂේප නොකොට තරාතිරම නොබලා වැඩම කිරීමේ තථාගතාදර්ශය ක්‍රියාවට නැගීම අප නාහිමියන්ගේ සිරිත විය. නාහිමිපාණන් වහන්සේගේ ධර්මදේශනයක් නොපැවති විහාරස්ථානයක් මෙම සිංහලද්වීපයේ ඇත්නම් ඒ අතලොස්සකි. කිසිදු වෙහෙසක් නොබලා කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාසයෙන් හා ශාසනානුලෝමී හැඟීමෙන් ම උන්වහන්සේ එබඳු ආරාධනා වෙත වැඩම කරති. උන්වහන්සේ බණකට වැඩමකළ විහාරස්ථානයකට භෞතික අඩුපාඩුවක් ඇත්නම් එය සලසා දීමට උන්වහන්සේ නිර්ලෝභී වෙති. 

උන්වහන්සේගේ චරිතයේ පැවැති උසස්ම ගුණාංගයක් නම් නාහිමියන් වෙත කිසිවක් බලාපොරොත්තුවෙන් පැමිණෙන යමෙක් හිස් අතින් නොයැවීම යි. පරිත්‍යාගශීලීත්වය ම සිය ජීවිතයේ පරමාභිලාෂය කොටගත් උන්වහන්සේ විද්‍යාලංකාර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මගින් නිවාස, රෝද පුටු, කිහිලිකරු, වැසිකිළි කැසිකිළි ආදිය ලබා දී අසරණ ජනතාව හා රෝගී පිරිස් සුවපත් කළ අවස්ථා ගිණිය යුත්තේ දහස් ගණනිනි. දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන්ගේ අධ්‍යාපන දියුණුව විෂයෙහි ආධාරෝපකාර ලබාදීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, ශිෂ්‍යත්ව ලබාදීම අප නාහිමියන්ගේ සමාජ සේවාවන් අතර සුලභ කරුණුය. 

ප්‍රජා ගොඩනැගිලි ඉදිකර දීම, මංමාවත් සකස්කර දීම,  ස්වයං රැකියා පිණිස උදව් උපකාර කිරීම් ආදී කටයුතු හරහා සමාජය බලගැන්වීමට උන්වහන්සේ අතින් සිදුවූ මෙහෙවර අතර කැපී පෙනෙයි. සැකෙවින් සඳහන් කරතොත් උන්වහන්සේ ඉතිරි කරගත්තා නම් ඉතිරිකරගත්තේ භෞතික සම්පත් හෝ මුදල් නොව පින හා කීර්තිය ම පමණි. 

මාතෘ, පීතෘ උපස්ථානය පිළිබඳ පරමාදර්ශයක් වූ කුසලධම්ම නාහිමියෝ සිය මෑණියන්ට මියයන තුරුම උසස් ආකාරයෙන් සැලකූ බවට ළඟින් ඇසුරු කළ අය සාක්‍ෂි දරති. ගුරු ගෞරවයට නිදසුන් පිණිස නාහිමියන්ට වඩා වැඩි වර්තමාන නිදසුනක් සොයා යාම නිෂ්ඵල කරුණකි.

උන්වහන්සේ තුළ පැවැති උතුම් කළ්‍යාණමිත්‍රත්වයේ ගුණයන් මා දුටුවේ අප ගුරුදේවෝත්තම ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ වෙත දැක්වූ මිතු සෙනෙහස තුළිනි. හැදෙන වැඩෙන පරපුරට අත දීමට නිරන්තරයෙන් කැපවී සිටි උන්වහන්සේ තරම් පිය සෙනෙහසින් යුත් මහා යතිවරුන්ගේ හිඟය සසුනේ තරුණ යතිවරුන් සසුන හැරදා යාමට හේතුවක් වී ඇත. කෙටියෙන් කිවහොත් උන්වහන්සේ උතුම් මිනිසත් දහමේ ජීවමාන සංකේතයකි.

විද්‍යාලංකාරය යනු පිරිවෙනක් වුව සාමාන්‍ය පිරිවෙන් ආයතනයක් නොවේ. එය සංස්කෘතියකි. එම සංස්කෘතියේ සියවස් හතරක ආරක්‍ෂකයාණන් හා නියමුවාණන් ලෙසින් උන්වහන්සේ සිදුකළ කාර්යභාරය විද්‍යාලංකාර ඉතිහාසයේ සටහන් වනුයේ රන් අකුරිනි. විද්‍යාලංකාර අධ්‍යාපන සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් දහස් ගණන් පැවිදි සිසුන්ට ශාසනික ගමන් මග හෙළිපෙහෙළි කරදීම, ධර්ම විද්‍යාලය හරහා දසදහස් ගණන් දූදරුවන්ට නැණ ගුණ පහදා දීම උන්වහන්සේගේ කාර්යභාරයේ සුවිශේෂ අවධානය යොමුවූ තැන් ය.

අපේ නාහිමියෝ ශ්‍රද්ධාවෙන් ධනය කොටගත් උතුමෙකි. ශ්‍රද්ධාවෙන් නූතන භික්‍ෂූන්ට පරමාදර්ශයකි. තුණුරුවනට සැදැහැ සිතින් ගරුසත්කාර කිරීමම තමන් වහන්සේගේ ජීවිතය බොහෝ අනතුරුවලින් බේරා ගැනීමට සමත් වූ බව උන්වහන්සේ නිරන්තරයෙන් සිහිපත් කරති. විද්‍යාලංකාර පිරිවෙනේ සිදුවූ ත්‍රිපිටක සජ්ඣායනය සිහිපත් කිරීම උන්වහන්සේගේ මුවෙන් නිරන්තරයෙන් පිටවන සත්‍ය ක්‍රියාවකි. නාහිමියන් නිකැලැල් භික්‍ෂූත්වයේ ශාසනිකාස්වාදය නිරන්තරයෙන් අත්විඳි බව ළඟින් ඇසුරු කළ ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.

නාහිමියෝ කිසිදු විටෙකත් රට දැය සමය වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය කැපකිරීමට පසුබට නොවූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් මණ්ඩලය, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය ආදී ආයතන මුල්කර ගනිමින් ගිහි පැවිදි ශාස්ත්‍රීය හා දහම් අධ්‍යාපය නගාසිටුවීමට උන්වහන්සේ තීරණාත්මක බලවේගයක් වැ ක්‍රියා කළ මහා යතිවරයෙක් වූහ. තමාගේ ම ගුරුභූමිය පදනම් කොටගෙන බිහිවූ කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතනසභා, පාලක සභා ආදියෙහි සාමාජිකත්වය දරමින් කටයුතු කළා පමණක් නොව දශක කිහිපයක් මුළුල්ලෙහි එහි උතුම් කුලපති ධුරය හොබවති.

උතුම් විදුලකර සම්ප්‍රදායේ අභිමානයත්, අදීන භික්‍ෂු පෞරුෂයත්, සමාජශීලී ජනහිතවාදී මෘදු හදවතත්,  සසර පුරුද්දෙන් ගෙනා පරිත්‍යාග ශීලීත්වයත්, ජාතිදේශ හිතෛෂී ගුණයත්, සත්වකරුණාවත්, ඉවසීම හා කැපවීමත් එකපිඬුකොටගත් උතුම් ජීවිතාදර්ශයක් වූ කීර්තිශේෂභාවෝපගත විද්‍යාලංකාර පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්දර ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක මාහිමිපාණන් වහස්සේට උතුම් නිවනින් සැනසීම වේවායි පතමු.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි